Sunday, February 27, 2011

1 ඔය ඇස් අමතක වෙන්න නම්(තෙවන කොටස)

  නිවස ඉදිරිපිට යතුරු පැදිය නැවැත්වූ ඇසළ ඉන් බැස ගෙතුලට දිව‍ගියේය.සදුනි කාමරයෙන් පිට වූයේත් ඇසළ කාමරයට ඇතුලු වූයේත් එකම විටදීය.ඉක්මන් ගමනින් කාමරයට ඇතුලු වූ ඇසළගේ ඇගේ හැපී ඇය විසිවී ගොස් ඇද මතට ඇද වැටුණාය.
     "ආම්මේ............මගෙ අත...කොහෙද මෝඩයෝ දුවන්නෙ බූරුවෙක් වගේ.අතත් කැඩුණද මන්ද"
  "ඔයාගෙනෙ හලෝ වැරැද්ද.දොර ලග ඉදගෙන මොන මගුලක්ද කලේ.‍ඇහැට පේන්නෙත් නෑ බටු ඇටේ වාගේ"
      "අනේ යනවා යන්න.මෝඩයා හිතන් ඉන්නේ මහ ලොකු මිනිහා කියලනෙ."
      "ලොකු මිනිහා තමයි.දැක්කෙ නැද්ද ඇගේ හැපිලා යාර ගානක් විසික් වුනේ."
      ඇසළ මහ හඩින් සිනාසෙන්නට විය.ඒ වනවිටද සදුනිගේ වමත මදක් ඉදිමී තිබුණි.
     "බලනවා බූරුවා මගෙ අතත් ඉදිමිලා"
    සදුනි නොක්කාඩු හඩින් කීවාය.
 "කෝ බලන්න මගෙ සුදු අක්කගෙ අත.අනේ පව් අනේ මෙන්න අත ඉදිමිලා.මම තෙල් ටිකක් ගාන්නද"
      එවිට නම් සදුනිට යකා නැග්ගාය.ඇසළ එසේ කීවේ විහිලුවක් කරන්නට සිතා ය.
      එහෙත් ඉදිමී තිබූ අත දුටු විට ඔහුටද ඇය ගැන දුක සිතිණි.
     "අනේ මේ තමුසෙගෙ තෙල්.මම අයියා අවාම බාම් ටිකක් ගාගන්නම්"
     "ආ ඒකයි මෙයා මේ බලෙන්ම අත කඩාගත්තෙ.අයියට කියලා බාම් ගාගන්න තියෙන ආසාවට.හා හා ගාගන්නවකො එහෙනම් අද බාම්"
     "තමුසෙට මම" 
    සදුනි අත මිට මොලවා ගෙන ඇසළට ගැසීමට ඔහු දෙසට පනිනවාත් සමගම ඇසළ කාමරයෙන් එලියට පැන්නේ දොර රෙද්දත් ගලවාගෙනය.එවිටනම් සදුනිට සිනහ නැගින.
     "ඇයි මල්ලි දුවන්නේ ෆෝන් එක එපාද"
     ඇසළට තම ජංගම දුරකථනය සිහි වූයේ ද එවිටය.
    "කෝල් එකකුත් ආවා. කවුද මන් ද කෙල්ලෙක් කතාකලේ"
  කියමින් සදුනි ඇසළට ජංගම දුරකථනය පෑවාය.
 "තමුසෙත් මාර කතානෙ අක්කෙ කියන්නෙ.අපි වගේ කොල්ලන්ට ඉතින් කෙල්ලො ඇර කොල්ලො කෝල් කරන්නද"
   ඇසල එය සාක්කුවේ දමාගෙන නිවසින් එලියට පැමිණ යතුරුපැදියද පනගන්වා නිවසින් නික්මුණි.


 ඇසළ කඩවතට ලගාවනවිටත් උදෑසන 10 පසුවී තිබුණි.විජේමාන්න මහතා කාර්‍යාලයට වී මදක් කෝපයෙන් සිය වැඩකටයුතු වල නිරත විය.උදෑසන 9ට පැමිණෙන ලෙස දැන්වුවද තාමත් ඇසළ නොපැමිණීම පිළීබදව ඔහු සිටියේ මහත් කණස්සල්ලෙනි.
     "ගුඩ් ‍මෝර්නින් තාත්තෙ.‍ඔන්න මම වෙලාවටම ආවා"
 "හොද වෙලාව.මම කියටද පුතා ඔයාට එන්න කිව්වෙ.දැන් බලනවා වෙලාව.පැයකටත් වඩා පරක්කුයි.අනිත් මිනිස්සු වැඩ පටන් අරගෙන.තමුන් මේකෙ වැඩකරනකොට හරියට වෙලාවට වැඩකරන්න ඔනෙ තේරුණාද?"
      විජේමාන්න මහතා මදක් කෝපයෙන් යුතුව කියාගෙන ගියේය.ඇසළ කොපමණ සෙල්ලක්කාර වැඩ කළ ද තමාගේ වචනයට ඉහලින් කිසිවක් නොකරන බව විජේමාන්න මහතා හොදින් දැන‍සිටියේය.එහෙයින් ඔහුට සුලු දඩුවමක් දිය යුතුයයි ඔහු සිතා ගත්තේය.
    "හරි හරි තාත්තේ සුලු ප්‍රමාදයක්නෙ වුණෙ."   
   "හොද සුලු ප්‍රමාදය.මම පැයක් බලන් හිටියා"
   "හරි දැන් ඉතින්  මට මොක්කද මෙතන කරන්න තියෙන වැඩේ.හැබැයි ඉතින් මම තාම පොඩි එකා"
   මදක් කග්පනා කල විජේමාන්න මහතා එහි සිටි අලෙවි සහායක ප්‍රනාන්දු ඇමතුවේය.
   "‍ප්‍රනාන්දු, අද දෙන්නෙක් නිවාඩු ගත්ත එකේ මේ ඇසළව ගන්න ෂොප් එකේ වැඩට.වැඩ ගැනත් කියලා දෙන්න"
    ඇසළගේ මුහුණ සැනෙකින් අදුරු විය.
   "සර් මේ ඇසළ බේබිව"
   "ඔව් ඔව් අයිසෙ සිංහල තේරෙන්නෙ නැද්ද.දැන් එක්ක යනවා"
   "අනේ තාත්තෙ මේ මම"
   ඇසළ සිය පියා ඉදිරියේ බැගැපත් විය.
   "වෙලාවට ආවනම් ඕක වෙන්නෙ නෑනෙ.දැන්වත් වැඩේ හරියට කරනවා නැත්තම් හෙටත් ඔකමයි වෙන්නෙ පුතා.තේරුණාද"
   ඇසළ හිස වනා  බිම බලාගෙන ප්‍රනාන්දු පසුපස ඇදෙන්නට විය.


   "‍ඇසළ බේබි දැන් බේබිට කරන්න තියෙන්නෙ මෙච්චරයි"
   "මට දැන් බේබි කියන්න එපා හලෝ.නැත්තං මෙතනට එන උන් හිතයි මම බබෙක් කියලා"
   "හොදයි එහෙනම් ඇසළ මහත්තයා කියන්නම්කො"
   "මහත්තයා........? පිස්සුද හලෝ දැන් අපි දෙන්නම එකම තත්වෙ."
   ඇසළ එසේ කීවිට ප්‍රනාන්දුටද සිනහ නොවී සිටිය නොහැකි විය.දෙදෙනාම සිනාසුනා මිස විජේමාන්න මහතා ඔවුන් අතරට එනතුරුම එක් අයෙකුවත් ඔහුව දුටුවේ නැත.
 "ප්‍රනාන්දුට පොඩි කාලෙ මතක් වුනාද.එහෙම නැත්නම් ඇසළ ප්‍රනාන්දු කියන විදියට වැඩ කරන්නෙ නැද්ද"
     "නැ සර් මේ ඇසළ බේබිට වැඩ ගැන කියා දෙන ගමන්"
     "හා හා හොදයි.ඕක මහ දෙයක් යැ.ඇසළ පුතා මෙන්න මේ සාප්පුවට එන මිනිස්සුන්ට අවශ්‍ය ඇදුම් තෝරල දෙන එකයි කරන්න තියෙන්නෙ.වැඩේ හරියට කරනවා තේරුණාද?එහෙම නොවුනොත් දිගටම මෙහෙම ඉන්න වෙයි"
  විජේමාන්න මහතා මදක් සැරෙන් පවසා යන්නට ගියේය.තමාට සිදුවූ කැරුමය ගැන සිතමින් ඇසළ සාප්පුවේ පසෙකට වී කල්පනා කරමින් සිටියේය.
 මද වෙලාවකින් යුවතියන් කිහිපදෙනෙක් සාප්පුවට පිවිස ඇදුම් තෝරන්නට විය.ඇසළ ලැජ්ජාවෙන් යුතුව අනෙක් පස බලමින් ඇදුම් අතපත ගෑවේ ඔහු දන්නා හදුනන කවුරුන් හෝ සාප්පුවට ගොඩවෙතැයි සිතුන බැවිනි.එසේ පැමිණියහොත් තමුන්  තමාගේම ඇදුම් සාප්පුවෙහි සේවකයකු ලෙස කටයුතු කරන බැව් සියල්ලන්ම දැන ගන්නා බව ඇසළට කල්පනා විය.එසේ වුවහොත් සිදුවන්නෙ විලිලැජ්ජාවකි.
     "එක්ස්කියුස් මී .අපිට මේ බ්ලවුස් එකෙ වෙන කලර් එකක් බලන්න පුලුවන්ද"
     

1 comment:

  1. දැන් හොයපන්කො පාට පා‍ට බ්ලව්ස්...

    නියමයි! පුලුවන් ඉක්මනට ඉතුරු ටිකත් දාන්න

    ReplyDelete

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....