Sunday, February 20, 2011

1 ඔය ඇස් අමතක වෙන්න නම් (දෙවන කොටස)

             "පිස්සා" යයි තමාටම ඇසෙන සේ කියමින් සදුනි ආපසු හැරී නිවස තුලට ගිය අතර ගුණපාල ගේට්ටුව වසා දැමීමට සැරසුණි.
   ලයිසම්මා කෑම මේසය අස් කරමින් සිටිනු දුටු සදුනි එදෙසට පියනැගීය.
"අද ඇසළ බේබි හරි ලස්සනයි නේද ලොකු බේබි"
          සදුනි එදෙසට එනු දුටු ලයිසම්මා ඇසුවේ කරමින් සිටි කාර්යද මදකට නවතාලමිනි.
"ඇයි ලයිසම්මා අහගත්තෙ චූටි බේබිගෙන් ලස්සනද නැද්ද කියලා"
           සදුනි ඔලොක්කුවට මෙන් තරමක හඩකින් සිණාසුනාය.
            "අප්පේ ඔව් ලොකු බේබි මං හිතුවෙ  චූටි බේබිට හොදටම කේන්ති යයි කියලා.මං ඉතින් වරදක්යැ ලොකුබේබි ඒ වෙලාවෙ චූටි බේබිට කිව්වෙ?අනේ මන්ද ඉතින් අද කාලෙ හැදෙන ලමයි.හොදක් කිව්වත් තරහා යනවා."
                ලයිසම්මා නෝක්කාඩු ස්වරයෙන් කී විට සදුනිට ඇය ගැන ඇතිවූයේ මහත් වූ අනුකම්පාවකි.
             නිවසේ මුලුතැන්ගෙයි මෙහෙකාරිය වූ ලයිසම්මා වුවද නොසතුටින් සිටිනු දැකීමට සදුනි අකමැති වූවාය.මන්ද යත් සිය මව තමා හා මල්ලී කුඩා වියේදීම තනිකර දමා වෙනත් සැමියකු සමග පැනගිය පසු ලයිසම්මා විසින් ඇසළට හා තමාට ආදරණීය මවක මෙන් සැලකූ අයුරු සදුනිට කිසි දිනකත් අමතක නොවේ. ලයිසම්මා හිත හොද ගැහැණියක් බව සදුනි කුඩාකල සිටම දැන සිටියාය.එහෙයින් ඇය ලයිසම්මාට ද බෙහෙවින් කාරුණික විය.
                     "ඒ ගැන එච්චර හිතන්න එපා ලයිසම්මෙ මල්ලී ඔය ගියාට හිතේ සතුටින් නෙමෙයි ගියෙ.මොකද එයා දන්නවනෙ දැන් ඉස්සර වගේ නටන්න ලැබෙන්නෙ නෑ කියල තාත්තා එක්ක වැඩකරනකොට.ඒ කයි ඒ වෙලාවෙ ටිකක් තරහින් හිටියෙ"
             "අනේ ඒක හොදයි ලොකු බේබි.නැත්තන් මේ චූටි බේබි යාලුවොත් එක්ක එකතුවෙලා නිකං නාස්ති වෙනවා.එදා රෑ අර දහජරාව බීගෙන ආපු වෙලාවෙ මමනම් හිතුවෙම ලොකු මහත්තයා චූටි බේබිව හමගහයි කියලා.එදා රෑ කී සැරයක්නම් වමනෙ දැම්මද.පව් මට දුකත් හිතුනා."
               "දිරවගන්න බැරි මල ජරාව මොකට බොනවද දන්නෙ නෑ ලයිසම්මෙ.ඉන්නකෝ අයෙ එහෙම එයා ඔය ජරාව කටේ තියල තිබ්බොත් මේ පාර එයාව හම ගහන්නෙ මං. ආයෙ කටේ තියන්න හිතෙන්නැති වෙන්න මං එයාට කරන්නම්කො හොද වැඩක්.තාත්තනෙ මෙයාව හුරතල් කරන්නෙ දාගෙන"
                 සදුනි තරමක් කෝපයෙන් වුවත් ඉතා පැහාදිලි ලෙස කියා ගෙන  ඉහල මාලයට යාමට පඩිපෙල නගින්නට වූවාය.කෙසේ වෙතත් සදුනි සිය මල්ලීට බෙහෙවින් ආදරය කරනු දැකීම ගැන ලයිසම්මාට ඇතිවූයේ අවන්කවම සතුටකි.
                  සදුනි තමන්ගේ කාමරයට යන අතර තුරදී සිය මල්ලීගේ කාමරයද අස් කළයුතුයයි සිතුවාය.වහාම ඇසළගේ කාමරයෙහි දොර ඇරගත් ඇය කොස්ස ගෙන බිම අමදින්නට විය.හදිසියේම ඇසළගේ ඇදෙහි කොට්ටය ආසන්නයේ තිබූ ඇසළගේ ජංගම දුරකථනය සදුනිගේ නෙත ගැටිණි.
                "හානේ මේ මෝඩයා මොබයිල් එක අමතක කරලා ගිහිල්ලනේ දැන් මොකද කරන්නනෙ?"
                 සදුනී තනියම සිතමින් සිටින අතර තුර පහල ගේට්ටුව විවර වන හඩ ඇයට යාන්තමට  ඇසිනි.
           

        යතුරු පැදිය පණ ගැන්වූ ඇසළ අක්කාට අතවනා නිවසින් පිටවිය.‍තමා ගේට්ටුවෙන් පිටවනතුරුත් අක්කා තමා දෙස බලමින් සිටිනු ඔහු දුටුවේ යතුරුපැදියේ වූ පැති කණ්නාඩිය තුලිනි.
                       ඇසළ යතුරු පැදිය සමගි මාවතට හරවා වේගයෙන් ඉදිරියට ධාවනය කළේය.සිය අක්කාගේ වදන් සිහිය‍ට නැගුණු විට යතුරු පැදීයේ වේගය මදකට අඩු වුවද නැවතත් පෙර පරිදිම ධාවනයෙහි යෙදුණි.
                       විජේමාන්න මහතා සිය කාර්යාලයට ඇසළට පැමිණෙන ලෙස පැවසූයේ උදෑසන 9ට වු වද උදෑසන 9.10 වනතුරුත් ඇසල පැමිණියේ නැත.තම රාජකාරිය නිසි වෙලාවට කිරීමට පුරුදු වී සිටි විජේමාන්න මහතා තවත් කෙනෙකුගේ වැඩ අතපසු වීමක් වූ විට තරමක් කෝප වෙයි.
                          මදක් කල්පනාකල විජේමාන්න මහතා මේසය මත වූ ස්ථාවර දුරකථනයෙන් ඇසළගේ ජංගම දුරකථනය ඇමතුවේය.ස්වල්ප වේලාවක් ගතවීමෙන් පසු ඇසළ වෙනුවට දුරකථනයට අනෙක් පසින් සදුනි විසින් පිලිතුරු දුන් විට විජේමාන්න මහතා තවත් කෝපවිය.
                         මදක් දුකට පත්වූ සදුනි සිදුවූ සියල්ල විජේමාන්න මහතාට දන්වා සිටි අතර ඇසළ ජංගම දුරකථනයද අමතක කර නිවසින් පිටත් වූ බව ද දන්වා සිටියාය.එය ඇසීමෙන් පසු විජේමාන්න මහතා මදකට හිත සනසුන් කරගත්තේය.
                            සමගි මාවත ඔස්සේ යක්කල පාරට පැමිණි ඇසළට යක්කල මහා මාර්ගයට ඇතුලු වීමට ද ඉඩක් නොලැබිණි.
"අඩෝ ජොනියා කොහෙද මේ යන්නෙ ජන්ඩි පහට ඇදගෙන????"
                     හදිසියේම පැමිණි චතුර සහ දුමින්ද  එක වරම ඇසළගෙන් විමසූහ.
                     ඇසළ බාහිර පෙනුමින් ඉන්දියාවේ සිනමා නලුවෙක් වන ජෝන් ඒබ්‍රහිම් ගේ රුවට සමානතාවයක් දක්වන බැවින් කුඩා කල සිටම සිය යාලුවන් ඇසළව හැදින්වූයේ ජොනියා යන අනවරථ නාමයෙනි.මුල් දිනවලදී ඔහු එය‍ට අකමැති වුවද පසුව එය ඔහුගේද විනෝදාංශය විය.
"අම්මටසිරි ඩුමියා.කොහෙද මේ ටුටුවව එක්කගෙන යන්නෙ?"
    පිළිතුරු දෙනු වෙනුවට ඇසළද යලි ප්‍රශ්නයක් ඇසුවේය.
                    දුමින්දට ඩුමියා ලෙස  මිතුරන් අමතන අතර, චතුරව අමතන්නේ  ටුටූ යන නමිනි.මන්දයත් ටුටූ යනු චතුර‍ගේ නිවසේ හුරතලේට ඇතිකරනු ලබන බල්ලාගේ නමයි. 
                       "ඒක නෙමෙයි මචං ඇසළ උඹ කොහෙද මේ මනමාලයා වගේ කිට මරාගෙන?කෑල්ලක් වත් සෙට් උනාද?"
                          "උඹට පිස්සුද යකෝ.මම මේ තාත්තගෙ ඔෆිස් එකට යනගමං.තොපි දෙන්නත් කොහෙදෝ ඉදන් කඩාපාත් උනානෙ මගේම කරුමෙට."
          "එළ එළ සනා එහෙනම් යන්න ආපු ගමන පලයන් ඉක්මනට සෙට් වෙමු ආ..........හ්"
                     "ඕකේ මචං අපි ගියා"යි කියූ ඇසළ නැවතත් යතුරු පැදිය පණගැන්වීය.හදිසියේම ඔහුට යමක් මතක් වී කලිසම් සාක්කුවට අතදමා මොනවදෝසොයන්නට විය.
"අයියෝ මල ‍මගුලයි.මම මොබයිල් ෆෝන් එක දාලා ඇවිල්ලනේ.දැන් මොකද කරන්නේ?"
                         මදක් කල්පනා කල ඇසළ යතුරු පැදිය ආපසු හරවා ධාවනය කලේ තම නිවස දෙසට ය.

1 comment:

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....