Sunday, February 13, 2011

4 ඔය ඇස් අමතක වෙන්න නම් (පළමු කොටස)

"ඕයි මල්ලි  නැගිටනවා.තමුසෙ අද යන්නෙ නැද්ද?තාත්තා කියල ගියෙ උදේම ඇහැරවල එවන්න කියල."
     සදුනි සිය මල්ලීට උදෑසන තේ කෝප්පයද රැගෙන කාමරයට පිවිසියාය.උදෑසන හත පසුවී තිබුන ද ඇසල තාමත් ඇදෙහි වැතිර නින්දත් නොනින්දත් අතර සිටියි.
"මොන කරදරයක්ද ඕයි මේ උදේ පාන්දර.ටිකක් ඉන්නවකො වද නොදී.".
ඔහු නැවතත් අනෙක් පසට හැරී ගුලිවූයේ හිතේ තිබූ නොමනාපයද පිටකරමිනි.ඇසල නම් දැන්ම නැගිටින පාටක් නැත.
   ඇසල ප්‍රභාෂ්වර විජේමාන්න වූ කලී තවමත් විසි එක්වන විය නොඉක්මවු කෙලිලොල් කඩවසම් තරුණයෙකි.ඔහු ඇසල ගාමන්ට්ස් හි අධිපති ගුණතිලක විජේමාන්න ගේ එකම පුත්‍රයාය.මුදල් හදල් අතින් කිසිදු අඩුවක් නොතිබුනද විජේමාන්න මහතා ගතකලේ හුදකලා ජීවිතයකි.සිය බිරිද දරුවන් කුඩා අවදියේදීම වෙනත් පුරුෂයකු හා විවාහ වී වෙනත් රටකට ගොසිනි.විජේමාන්න මහතා සිය දරුවන් වෙනුවෙන් තම ජීවිතයම කැප කලේය.එහෙයින් නැවතත් විවාහ වීමට ඔහුගේ මාපියන් හා නෑදෑයින් විසින් ගෙනෙන ලද සියලු විවාහ යෝජනා ඔහු විසින් ප්‍රතික්ෂේප කළේය.සදුනි වත්සලා විජේමාන්න ඔහුගේ වැඩිමල් දියණියයි.ඇය වෘත්තියෙන් වෛද්‍යවරයකු වූ තරිදු ගුණවර්ධන සමග විවාහ වී සිටියි.තරිදු සහ සදුනි වාසය කලේ ද විජේමාන්න නිවසෙහිය.
           සදුනි සිය මල්ලීට බෙහෙවින් ආදරය කලාය.නිවසේ සේවයට මෙහෙකරුවන් තිදෙනකු සිටිය ද ඇසලගේ සියලු ඕනෑ එපාකම් ඉටුවූයේ සදුනි ගේ අතිනි.ඇසලට මව නැති අඩුපාඩුව නොදැනෙන ලෙස සියලු ඔනෑ එපාකම් ඉටු කිරීමට සදුනි උත්සාහ ගත්තාය.
"මල්ලි දැන් අටටත් ලගයි.නැගිටින්නෙ නැද්ද?තාත්ත කිව්ව නවය වෙනකොට එවන්න කියලා.දැන් නැගිටලා මේ තේ එක බීලා ඉක්මනට ලෑස්ති වෙන්න"
එවරනම් ඇසල ඇයගේ බසට කීකරු වූ බවක් පෙනුනි.ඔහු වහා ඇදෙන් නැගිට නාන කාමරට ගොස් දොර වසා ගත්තේය.
   කොළඹ ආනන්ද විද්‍යාලයෙන් උසස්පෙල හමාර කල ඇසල මේ වනවිට සිය පියාගේ ධනය වැය කරමින් යහලුවන් සමග විනෝදයෙන් කාලය ගතකරමින් සිටී.සිය විසිවෙනි උපන්දිනයට පියාගෙන් ලැබුන නවීන පන්නයේ සිත්ගත් යතුරු පැදිය ද ඊට මහත් රුකුලක් විය.
   ඇසල තම ව්‍යාපාර කටයුතු සදහා සම්බන්ධ කර ගත යුතු බව විජේමාන්න මහතා විසින් තීරණය කරනු ලැබුවේ ඉකුත් සතියේ ය.ඒ තම පුතා යහලුවන් සමග රස්තියාදුවේ ගොස් විනාශ වේ යයි දැනුණු බිය නිසාය.ඇසල ඉකුත් සතියේ ඔහුගේ යහලුවකුගේ නිවසක තිබූ උත්සවයකට සහභාගි වී යලි නිවසට පැමිණියේ බී මතිනි.විජේමාන්න මහතා සිය පුතාට ඒ ගැන තරවටු කිරීමක් නොකලද සිටියේ ඒ පිළීබදව බොහෝ කණස්සල්ලෙනි.
"ලයිසම්මා,ඇසල බේබිට කන්න කෑම මේසෙ ලෑස්ති කරන්න"
සදුනි නැවතත් ඇසලගේ කාමරයට පැමිණියාය.
"ෂහ් මල්ලිගෙ ලස්සන අද.දැන්නම් රස්තියාදුකාර පාට ගිහින් වැදගත් මහත්තයෙක් වගේ පේනවා"
සදුනි එසේ කීවේ ඇසලගේ ‍කමිසයේ කොලරය සකසන ගමන්ය.
"අනේ නිකන් යනවා හලෝ.අපි කවදත් නියම මහත්තුරු තමයි"
"ඔව් ඔව් වැදගත් කම නිසා වෙන්න ඇති අර එදා රෑ හතර ගාතෙන් ආවෙ.තාත්තා මුකුත් නොකීවට හරිම හිතේ අමාරුවෙන් හිටියෙ.ආයෙ එහෙම ඔය මලජරාව කටේ තියනව නෙමෙයි.තේ‍රුණාද?"
"හරි හරි ඉතින් ‍වැදගත් අය අතින් පොඩි පොඩි මිස්ටේකස් වෙන්නැද්ද හලෝ"යි කියමින් ඇසල අක්කා මගහැර පඩිපෙල බැස්සේය.
ලයිසම්මා කෑම මේසය සකස් කරමින් සිටී.
"හප්පේ අද ඇසල බේබිගෙ ලස්සන"
"ලයිසම්මා අදද මාව දැක්කෙ.යකෝ මේක හරියට ඇසල ඉපදුන කාලෙ වගේනෙ"
ඇසලගේ මුහුණෙන් පළවූ නොරිස්සුම් ගතිය නිසාම ලයිසම්මා යලි කිසිවක් නොකීමට වගබලාගත්තාය.
   මුලුතැන් ගෙයි මෙහෙකාරිය වූ ලයිසම්මා මෙන්ම නිවසේ අනෙකුත් කටයුතු සොයා බලමින් සිටි ගුණපාල ද විජේමාන්න නිවසෙහි නිත්‍ය රියදුරු ලෙස සේවය කරන රංජිත් ද විජේමාන්න නිවසේ සේවයට පැමිණියේ ඇසල සහ සදුනි කුඩා අවදියේය.
"අක්කෙ කෝ තරිදු අයියා කන්නෙ නැද්ද"
"තරිදු අයියා ගියා මල්ලි උදේම හදිසි ලෙඩෙක් බලන්න තියෙනවා කියල"
"අන්න ඒකනේ අක්කා අපි වැඩිය ඉගෙන ගත්තෙ නැත්තෙ.බලන්න දැන් තරිදු අයිය කන කට්ට.හරියට නින්දක්වත් නෑ.ඒ වගේද අපි"
එවිට නම් සදුනිට තරමක කෝපයක් දැනිණි.
"ඔව් ඔව් මුකුත් නොකර යාලුවොත් එක්ක රස්තියාදු ගගහ ඉන්නවා.තාත්තත් මෙයාව හුරතල් කරනවනෙ.තමුසෙ ඔය මල ජරා යාලුවො එක්ක මොන මොන ජරා වැඩ කරනවද දන්නෙ නෑ.මට එදා සිගරට් ගදකුත් ආවා මං පව් කියලා නිකං හිටියෙ.ඉන්නවකො තාත්තට කියන්න"
එවර නම් ඇසලට පොලව පලාගෙන යාමට තරම් ලැජ්ජාවක් ඇතිවුණි.ඔහු ඉක්මනින් කඩල අහුරක් දෙකක් කා කෑම මේසයෙන් ඉවත් විය.
එය දුටු සදුනිට මල්ලී ගැන දුක සිතිනි.
"මල්ලී ඔය යන්නද හදන්නෙ?"
"ඔව් අක්කෙ නවයට තව විනාඩි විස්සයි"
ඇසල අක්කාගේ දෙපා නැමදීමට සූදානම් වෙමින් පැවසුවේය.

"හා හොදයි එහෙනම් පරිස්සමට යන්න.හෙමින් යන්න ඔනෙ තේරුණාද?මහත්තයෙක් වගේ.බුදුසරණයි"
ඇසල සිය යතුරු පැදිය පණ ගන්වා ගේට්ටුවෙන් පිටවන දෙස සදුනි බලා සිටියේ සිනා පිරුණු දෑසිනි.

4 comments:

  1. හරියට හවසට තාත්ත වැඩ ඇරිල ගෙදර එනකල් මගබලන් ඉන්න පොඩි ලමයින් වගෙ ඔයාගෙ පොතේ අනිත් කොටස එනතුරු අපි මග බලන් ඉන්නව පලපුරුදු පොත්ලියන්නෙක් වගෙ පලවෙනි කොටසම සාර්තකව ලියල තියන නිසා මම හදවතින්ම ඔබට සුබ අනාගතයක් පතමි!!!!!!!

    ReplyDelete
  2. @Rumesh> බොහෝම ස්තූතියි මචං.ඊලග කොටස ඉතාම ඉක්මනින් පලවෙනවා.

    ReplyDelete
  3. Hadawathinma suba pathanawa oyage uthsahayata.. Katawa lassani..

    ReplyDelete

කියවලා බලලා මේ ගැන ගුණ දොස් ටිකක් දක්වලම ගියානම්....